ඉදිරියේ වී වගාවේ වැඩි බර රසායනික පොහොරවලට

ඉදිරි මහ කන්නයේ වී වගාව: 70%ක් රසායනික, 30%ක් කාබනික පොහොර භාවිතයෙන් සිදු කිරීමට නිර්දේශ..

by Staff writer 28-07-2022 | 4:15 PM

COLOMBO (News 1st) –  ඉදිරි මහ කන්නයේදී වී වගාව, 70%ක් රසායනික පොහොර සහ 30%ක් කාබනික පොහොර භාවිතයෙන් සිදු කිරීමට නිර්දේශ කර තිබේ. 

ඒ, වී වගාව සම්බන්ධයෙන් කෘෂි විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද කැඳවා තිබූ රැස්වීමකදී ය.

එය පැවැත්වුණේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරි මහ කන්නයේදී සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් වී වගාවේදී පොහොර භාවිත කළයුතු අනුපාත තීරණය කිරීම සඳහා එම හමුව කැඳවා තිබුණි.

සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා එවැනි විධිමත් පියවරක් අනුගමය කළ බව විද්වතුන් එහිදී පෙන්වා දුන්නේ ය.

රසායනික පොහොර ලබා දීමේදී රජය ඊට මැදිහත්වන වීමට සහ කාබනික පොහොර ගැනීමේදී ගොවීන්ට සිය කැමැත්ත පරිදි තෝරාගැනීමට අවස්ථාව දීමට එහිදී තීරණය කෙරිණ.

ගොවීන් කාබනික පොහොර යොදන්නේ නම් ඒ සඳහා සහනාධාරයක් වුවද දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අදාළ තීරණය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය විය.