කොටුව මහේස්ත්‍රාත්ගෙන් කොටුව ස්ථානාධිපතිට නියෝගයක්

අරගලකරුවන් භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, අධිකරණයෙන් කොටුව ස්ථානාධිපතිට නියෝග

by Staff writer 28-07-2022 | 4:30 PM

COLOMBO (News 1st) – ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් පොලිසියට භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේ ය. 

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනි. 

පසුගිය 09 වැනිදා අරගලකරුවන් රුපියල් එක්කෝටි හැත්ත අට ලක්ෂ පනස් දහසක මුදලක් කොටුව පොලිසිය වෙත භාර දී ඇතැයි කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. 

එලෙස භාරදුන් මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් සති තුනක් ගිය ද අධිකරණයට ඉදිරිපත් කර නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය. 

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, එම මුදල් සම්බන්ධව වාර්තාවක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. 

මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනෙක් ඇප මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. 

එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණ. 

සැකකරුවන්ට අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය කියා සිටියේ ජනාධිපති මන්දිරයේ තුළ තිබූ  මුදල් පිරිසක් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිටි බවයි.