හිටපු ජනපති ‌‌ගෝඨාභයට අධිකරණයෙන් නොතීසි

හිටපු ජනපති ‌‌ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් නොතීසි

by Staff Writer . 27-07-2022 | 10:21 PM

COLOMBO (News 1st0 - මෙරට සහ ජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරුණු විභාග කිරීම අත්හිටුවීමට හා එම පෙත්සම් විභාගයෙන් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)  තීරණය කළේ ය.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (27) තීරණය කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස පුද්ගලිකව නම් කිරීමටයි.
 
ඒ අනුව ලබන අගෝස්තු මස 01 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු අවසානයට පදිංචිව සිටි ලිපිනයට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ ය. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ ය.

අගමැතිවරයාව සිටියදී එම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරයා ලෙස  පත් වීම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 විධිවිධානය මගින් සහතික කර ඇති නඩු  පැවරීමේ මුක්තිය හිමිව තිබෙන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ගනු ලැබුවේ ය.

ඒ මහතා  මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් කිරීමට අවසර ඉල්ලා ගොනු කළ  මෝසමක් සලකා බැලූ අධිකරණය එම තීන්දුව ප්‍රකාශ කර සිටියේ ය.