.webp)
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීමට පාර්ශ්ව කිහිපයක් අද විරෝධය පළ කළේය.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි විමසා බැලිණි.
රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවය.
නමුත් සෙසු පාර්ශ්ව දැක්වූ විරෝධය හමුවේ එම මූලික විරෝධතාවට අදාළව හෙට දිනයේ කරුණු දක්වන ලෙස පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයින් සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.