හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක්

හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක්

by Staff Writer . 24-07-2022 | 2:42 PM

 


හෙට (25) විශේෂ මදුරු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේ, රට පුරා ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයක් පැතිරයාමේ අවදානමක් නිරීක්ෂණය වී ඇති බවය.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 43,000 කට අධිකය.

කීට විද්‍යා සමික්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම්, පරිශ්‍ර, කර්මාන්ත ශාලා සහ වෙනත් පොදු ස්ථාන මදුරුවන් බෝවීමේ අවදානමක් සහිත ස්ථාන ලෙස හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව හෙට සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්යය මණ්ඩල පැයක කාලයක් පුරා තමා  සේවය කරන ආයතනය තුළ සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගෙන විනාශ කිරීමට කටයුතු කළයුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ය.

මේ අතර ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්තව පවතින බැවින් පවතින රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ පැය 24 ට අධික කාලයක් උණ පවතී නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසයි.