යුරෝපා සංගමයෙන් දැඩි ප්‍රකාශයක්

GSP සහනය ගැනත් සිහි කැඳවමින් යුරෝපා සංගමය සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙලා දකී..

by Staff writer 23-07-2022 | 7:24 PM

COLOMBO (News 1st) - මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ.

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය.

යුරෝපා සංගමය යනු ලොව ප්‍රබලතම රටවල් 27 කින් සැදුම්ලත්, ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂී ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානයකි.

යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය යුරෝපා සංගමය අවධාරණය කරන බවයි.

විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තාව පිළිබඳව අවධානය යොමු කරන යුරෝපා සංගමය සාමකාමීව රැස්වීමේ සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවධාරණය කරන අතරම සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දැක තිබේ.

නිවේදනයන් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය GSP ප්ලස් කැපවීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

 
?GSP සහනය ගැනත් සිහි කැඳවමින් යුරෝපා සංගමය සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙලා දකී

?GSP සහනය ගැනත් සිහි කැඳවමින් යුරෝපා සංගමය සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හෙලා දකී https://youtu.be/ZWw61eOPRzg #lka #SriLanka #SLnews #News #CAG

Posted by Newsfirst.lk on Saturday, July 23, 2022

යහපාලනය සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කරමින් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව යුරෝපා සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා සඳහා, යූරෝ මිලියන70 ක වටිනාකමින් යුත් ජී.එස්.පී පහසුකමේ ඇති වටිනකම පෙන්වා දෙන යුරෝපා සංගමය මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කළේ ය.

මෙම නිවේදනයෙන් යුරෝපා සංගමය රටේ ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පෙන්වා දෙයි.

ආර්ථික ස්ථාවරත්වය ගොඩනැංවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිදු කරන්නා වූ සියලු ක්‍රියාමාර්ගයන්ට යුරෝපා සංගමය සහය පළ කරන බව ද මෙම නිවේදනයේ සඳහන් වේ.