‍තෙල් පෝලිමක තවත් පුද්ගල මරණයක්..

තෙල් පෝලිමක තවත් පුද්ගල මරණයක්.. අද (22) දිනයේ මරණ 3 ක්

by Sagarika Chathumali 22-07-2022 | 10:15 PM

COLOMBO (News 1st) –  ඌරගස්මංහන්දිය ඉන්ධන පෝලිමකදී රෝගාතුර වූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පොලිසිය පවසයි. 

මෙම මරණයත් සමග අද (22) දිනයේ තෙල් පෝලිම් ආශ්‍රිතව වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ යනු ඇති.  

මීට පෙර අද දිනයේ මීගහතැන්න සහ කින්නියා යන ප්‍රදේශවලින් ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ දෙකක් වාර්තා විය.  

මීගහතැන්න, පැලවත්ත ප්‍රදේශයේදී ඉන්ධන පෝලිමකදී ඇද වැටී මියගොස් තිබුණේ,  වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. 

අද පැලවත්ත ඉන්ධන පිරවුම් හලට දින 10කට පසු ඉන්ධන ලැබී තිබූ අතර පිරවුම් හල අසල ඇති වූ තෙරපීමක් නිසා අදාළ පුද්ගලයා සිහිසුන්ව ඇද වැටී ඇතැයි, වාර්තා වේ. 

පසුව අදාළ පුද්ගලයා මීගහතැන්න ප්‍රදේශිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද  ඒ වන  විටත් ඔහු මියගොස් සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. 


මේ අතර  අද දහවල් කාලයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමකින් ද  පුද්ගල මරණයක් වාර්තා විය.

59 හැවිරිදි අදාළ  පුද්ගලයා ද මියගොස් තිබුණේ,  හදිසියේ ඇද වැටීමෙනි.  

දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.