පොලිසියෙන් පැහැදිලි කිරීමක් 

ජනපති ලේකම් කාර්යාලය අසල සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් 

by Staff writer 22-07-2022 | 8:32 PM

COLOMBO (News 1st) –  අද (22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුවීම පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය  නිවේදනයක් නිකුත් කර තිබේ. 

 එහි සඳහන් වන්නේ, මීට පෙර අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි. 

අදාළ පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත්වන ලෙසට ඉල්ලා සිටිය ද එම අවස්ථාවලදී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් අරගලකරුවන් ආවේගශීලීව හැසුරුණු බව ද පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසු වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කළ බවයි.

යම් ස්ථානයකට ඇතුළුවීම සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි බලය පැවරී ඇති බව පෙන්වාදෙන පොලිසිය වැඩිදුරටත් පවසන්නේ  වර්තමානයේ පවතින හදිසි නීති රෙගුලාසි යටතේ එම බලය හමුදා නිලධාරීන්ට ද පැවරී ඇති බවයි. 

අරගල භූමියේ සිදුවූයේ කුමක් ද? 

මේ අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි ජනතාව ඉවත් කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත්තේ,අද අලුයම් කාලයේදී ය.   

එහිදී නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර   අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිරිස අද පස්වරුවේ ඇප මත මුදා හැරිණ.  

ජනතාව රැඳී සිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දමා තිබූ විරෝධතා පුවරු සහ කොඩි ඊයේ පස්වරුවේ ඉවත් කළ ගෝඨාගෝගම අරගලයේ ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ, අද දිනයේ එම ස්ථාන අත්හැරීමට පියවර ගන්නා බවයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වේදිකාව සහ ගාලු මුවදොර විරෝධතා සඳහා වෙන්කළ ප්‍රදේශය දක්වා කොටසින් ද  අද දිනයේ ඉවත්වන බව අරගලයේ ක්‍රියාකාරීන් ඊයේ ප්‍රකාශ කර තිබිණ. 

එම පසුබිම තුළ ඊයේ රාත්‍රියේ අරගල භූමියේ ක්‍රියාකාරීන් රැය පහන් කරමින් සිටියේ 104 වන දිනයටයි.

ඒ අතරවාරයේ අද අලුයම 1.30ට පමණ සාමකාමී අරගල භූමියට එක්වරම පොලීසිය හා හමුදාවේ විශාල පිරිසක් කඩා වැදී තිබිණ. 

ජනාධිපති කාර්යාල භූමියෙන් ඇතුළු වූ පිරිසක් ගාලු පාර දිගේ ඉදිරියට පැමිණි අතරවාරයේ තවත් විශාල පිරිසක් ස්ථාන කිහිපයකින් ගෝඨාගෝගම අරගල භූමිය වටකර ඇත. 

ලෝටස් පාර දෙසින් සහ ජනාධිපති මාවත ඇතුළු ගෝඨාගෝගම අරගල භූමියට මාර්ග කිහිපයකින් ඇතුළු වූ පොලිසිය සහ හමුදාව එහි සිටි පිරිස මෙන්ම ඉදිකිරිම්ද ඉවත් කිරිමට පියවර ගත්තේ ය. 


අරගල භූමියේ ස්ථාපිත කර තිබූ තොරතුරු IT මධ්‍යස්ථානය මෙන්ම , දින 100 කට අධික කාලයක් ජනතාවට ආහාර පාන සැපයූ 'පීපල්ස් හට්' නමැති කුඩාරම ද කඩා ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේ ය. 


සිදුවීම අතරතුර , එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ද ආරක්ෂක අංශ පහර දී ඇති අතර බිබිසී මාධ්‍යවේදියෙකු ද ඒ අතර වේ. 

එල්.ජි.බි.ටී ප්‍රජා ව නියෝජනය කරන ක්‍රියාකාරිකයෙකුට ද පහර දීමෙන් තුවාල සිදුව තිබිණ. 

මෙහිදී පහරදීමට ලක්වූ පිරිස අතර නිතීඥවරයෙක් ද සිටී. 

පහරදීමට ලක්ව තුවාල ලැබූ කිහිප දෙනෙකු ගෝඨාගෝගම අරගල භූමියෙන් පිටතට ගැනීමට සිදුවුණේ,  අද උදෑසනයි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ නිතීඥවරුන් ඇතුළු පිරිසක් ද  පැමිණියහ. 

අද පස්වරුව වන විට ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පිවිසෙන මාර්ග සියල්ලක්ම ආරක්ෂක රැකවල් යොදා අවහිර කර තිබිණ.

 
? ජනපති ලේකම් කාර්යාලය අසල සිද්ධිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

? ජනපති ලේකම් කාර්යාලය අසල සිද්ධිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක් #lka #News1st #CAG

Posted by Newsfirst.lk on Friday, July 22, 2022