ජනපති කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ජනපති කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් පිරිසට අධිකරණයෙන් ඇප 

by Staff writer 22-07-2022 | 6:21 PM

COLOMBO (News 1st) –  ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටීම ඇතුළු චෝදනා මතයි.    

අද (22) අලුයම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධතාකරුවන්ට පහර දී ඉවත්කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත් අතර එහිදී මෙම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනිණ. 

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කැලණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව,නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 9 දෙනෙකි.  
 
මේ අතර පහරදීම්වලින්  14 දෙනෙකු තුවාල ලැබූ  අතර ඔවුන් ප්‍රතිකාර සඳහා  ඇතුළත් කෙරුණේ, කොළඹ ජාතික රෝහලටයි.  

අලුයම 1.30ට පමණ ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වූ පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන් සහ ඒ අවට ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගත්තේ ය.