ගාලු මුවදොරදී BBC මාධ්‍යවේදියෙකුටත් ප්‍රහාරයක්

අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයට 

by Staff writer 22-07-2022 | 8:03 PM

COLOMBO (News 1st) –  ගාලු මුවදොර අරගල භූමියේ අද (22) අලුයම ඇතිවූ තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමුකර තිබේ. 

BBC ලෝක සේවය තම මාධ්‍යවේදියාට සිදුකර ඇති පහරදීම පිළිබඳව වාර්තා කර තිබිණ. 

BBC වාර්තාවේ අනාවරණය කර තිබුණේ,  බීබීසී මාධ්‍යවේදියාට හමුදාව විසින් පහරදී ඇති බවත් හමුදා නිලධාරියෙකු ඔහුගේ දුරකථනය උදුරා ගෙන එහි තිබූ වීඩියෝ මකා දමා ඇති බවයි. 

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, 'විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දීමෙන්' ශ්‍රී ලංකාවේ හමුදාව ජනාධිපති කාර්යාලයේ පාලනය සියතට ගෙන ඇති බවයි.

යුද හමුදා සෙබළුන් ඇතුළු ආරක්ෂක අංශ අරගල භූමියේ තිබූ කූඩාරම් විනාශ කර, ක්‍රියාකාරී නායකයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුන් වාර්තා කර තිබේ. 

CNN පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කරන්නේ ශ්‍රී ලංකා හමුදා ජනාධිපති කාර්යාලයෙන් පිටත විරෝධතා කඳවුර හකුලා දමයි යනුවෙනුයි.

ඉන්දියාවේ NDTV පුවත් සේවය වාර්තාකර තිබුනේ ආරක්ෂක සෙබලුන් සහ පොලිසිය, නිරායුද විරෝධතාකරුවන්ගේ කූඩාරම් බිඳ දැමූ බවයි.

ශ්‍රී ලංකා හමුදාව, විරෝධතා කඳවුරු ආක්‍රමණය කරමින් ඔවුන්ට පහර දුන් බව ස්කයි නිවුස් වාර්තා කළේ ය. 

ප්‍රංශ පුවත් සේවය සඳහන් කර තිබුණේ,  ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමත් සමග විරෝධතාකරුවන් මර්දන කළ බවයි.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සිකුරාදා අලුයම කොළඹ ප්‍රධාන නගරයේ රජයේ භූමිය අල්ලාගෙන සිටි විරෝධතා කඳවුරක් වටලා එයින් කොටසක් ඉවත් කළ බව රොයිටර් වාර්තා කර තිබිණ.