ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද (19)

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද (19)

by Staff Writer . 19-07-2022 | 8:16 AM

COLOMBO (News 1st) - ජනාධිපති ධුරය සඳහා වන නාමයෝජනා භාරගැනීම අද (19) සිදු කිරීමට නියමිතව තිබේ.

අද (19) උදෑසන 10 .00ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීම කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා සභාවට දන්වා සිටියේ ය. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු වේ. එසේ යෝජනා කරන මොහොතේ නම යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයි. ඊට පසු එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු ස්ථිර කළ යුතු වේ. මේ පිළිබඳව විවාද කිරීමට කිසිම හැකියාවක් නොලැබේ. යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කළ හොත් එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ඇති බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කොට ස්ථිර කළ හොත් නාමයෝජනා භාරගැනීමේ වෙලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද වීමසීම පැවැත්විය යුතු ය. ඒ අනුව අද දිනයේ නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසිම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.