by Staff writer 17-07-2022 | 12:15 PM
COLOMBO (News 1st) - ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීන්දුවක් සමග එකඟ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ ඉදිරිපත් වන අපේක්ෂකයා තනතුරු මත පදනම් නොවී ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා නම්‍යශීලි විය යුතු බවයි.
රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් බව ද රාවුෆ් හකීම් මහතා පෙන්වා දෙයි.
ඔහු පැවසුවේ, ඒ සඳහා වන සියලු ප්‍රයත්නයන් සඳහා මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට කල්ලි කණ්ඩායම්වලට බෙදී ඇති බවත් එක් පාර්ශවයක් වෙනුවෙන් පක්ෂයේ එකඟතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.