ජනපති හැඳින්වීමට 'අතිගරු' නැහැ.. ජනාධිපති කොඩියත් අහෝසියි - වැඩ බලන ජනපති

by Sagarika Chathumali 15-07-2022 | 2:40 PM

COLOMBO (News 1st) –  ජනාධිපති තේරීමේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ සූදානමක් වාර්තා වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තරකරන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

''සාමකාමී අරගල කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්න උත්සාහ කරනවා. තවත් සමහරු ලබන සතියේ නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්නට සූදානම් වන බවට වාර්තා වෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙනවා. පූර්ණ ආරක්ෂාව සලසවා''
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශක් සිදු කරමිනි. ජනාධිපති හැඳින්වීම සඳහා 'අතිගරු' යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බව සඳහන් කළ වැඩ බලන ජනාධිපතිවරයා කියා සිටියේ, ජනාධිපති කොඩිය ද අහෝසි කරන බවයි. ''රටකට තියෙන්න ඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්'' රටේ නීතිය හා සාමය ස්ථාපනය කිරීමට වහාම පියවර ගන්නා බව ත් තමන් කිසි විටෙකත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු නොකරන බවත් වැඩ බල ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියේ ය. ඔහු පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේ, වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පොදු එකඟතාවකට එළඹෙන ලෙසයි. ''තම තමන්ගේ පුද්ගලික අභිලාසයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන්න. පුද්ගලයින් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත් වීමට හා දේශපාලනයක් කිරීමට රටක් තිබිය යුතු ය'' වැඩ බලන ජනාධිතිවරයා ඉල්ලා සිටියේ, ව්‍යාකූල තත්ත්වයෙන් රට සහ ජනතාව බේරා ගෙන ඉන් පසු පක්ෂ දේශපාලනය වෙත ප්‍රවේශවන ලෙසයි. ''පුරවැසියන් ලෙස අපි හැමෝම මේ මල් වට්ටියට අවංකවම අත ගහමු''