පොල්දූව හන්දියේ විරෝධතාව පාලනයට ගිය සෙබළුන් 16 කට තුවාලයි

පොල්දූව හන්දියේ විරෝධතාව පාලනයට ගිය සෙබළුන් 16 කට තුවාලයි - යුද හමුදාව

by Staff writer 14-07-2022 | 7:59 PM

COLOMBO (News 1st) –  බත්තරමුල්ල පොල්දුව හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවැති විරෝධතාවක් පාලනය කිරිමට ගිය යුද හමුදා සෙබළුන්ට පහරදී ටි - 56 වර්ගයේ ගිනි අවි දෙකක් විරෝධතාකරුවන් පැහැරගත් බව යුද හමුදාව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ජීව උණ්ඩ සහිත පතොරම් ගැබ් 02 ක් ද පැහැරගෙන ගොස් ඇති බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය අසල සහ බත්තරමුල්ල පොල්දුව හන්දිය අසල පැවති විරෝධතාවලදි තුවාල ලැබූ පුද්ගලයින් 84 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරින් 06 දෙනෙකු සිටින බවයි. ඊයේ බත්තරමුල්ල පොල්දුව හන්දියේ පැවති විරෝධතාවයේදී යුධ හමුදා සෙබළුන් 16 දෙනෙකු තුවාල ලබා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ ය.
''ඊයේ සවස් කාලයේදී බත්තරමුල්ල පාර්ලිමේන්තුවට රවුම හා ඒ අවට ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරිව හැසිරුණු පිරිසක් විසින් අරක්ෂක හමුදාව සමග ගැටුමක් ඇතිකර ගැනීමට උත්සහ දැරූ අවස්ථාවේ එය පාලනය කිරීමට ඉදිරියට ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකු හට ඉතා දරුණු හා අමානුෂික ලෙස යකඩ මුගුරු පොලු ආදිය උපයෝගි කරගනිමින් සිහිසන්වන තුරු පහරදීමෙන් පසු එම සෙබළුන් සතුව තිබූ ටී 56 වර්ගයේ ස්වක්‍රීය ගිනි අවි දෙකක් එම අවිවලට අයත් පතුරම් ගැබ් සමග පැහැරගෙන තිබෙනවා. එම සෙබළුන්ගේ හිසට සහ මුහුණට දැඩි ප්‍රහාර එල්ල වී ඇති අතර ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඔවුන් මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදෙනවා. මෙසේ පැහැරගනු ලැබු ස්වක්‍රීය ගිනි අවි භාවිත කර ප්‍රචණ්ඩත්වය තවදුරටත් පැතිරවීමේ හැකියාවක් ඇති බැවින් මහජනතාව මේ පිළිබඳව දැනුවත්වන ලෙස කරුණිකව ඉල්ලා සිටිනවා''
ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වන සුනිල් හදුන්නෙත්ති, කේ.ඩී ලාල්කාන්ත, සුනිල් වටගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූ විරෝධතාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දූව මංසන්ධියේදී පැවැත්විණ. අප කැමරාවල සටහන්ව ඇති දර්ශන අනුව එම විරෝධතාවය පැවැත්වෙන අතර තුරම ඊට ආසන්න පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යොදා තිබූ මාර්ග බාධක අසල ද තවත් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබිණ. මේ පිලිබදව අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශකලේ තම විරෝධතාවයට සහභාගීවී සිටි පිරිසක් එම ස්ථානයට ගොස් සිටි බවයි. එහෙත් මාර්ග බාධකවලින් ඉදිරියට නොයන ලෙස තම විරෝධාතාකරුවන්ට උපදෙස් දුන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ ය. කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ පිරිසට වැඩි පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මාර්ග බාධක අසල අඛණ්ඩව විරෝධය පලකල අතර පසුව තත්ත්වය ගැටුමක් දක්වා වර්ධනයවී තිබිණ. ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ නමුත් රාත්‍රිය වනවිට තවත් විශාල පිරිසක් එම ස්ථානයට රැස්වූ බව අපවාර්තාකරුවෝ පැවසූහ. ලොරි සහ වෙනත් වාහනවලින් එක්රැස්වූ පිරිස් දිගටම විරෝධය පළ කළ අතර ඔවුන් විසුරුවා හැරීමට උත්සාහ කළ ආරක්ෂක අංශ සමග අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකර ගෙන තිබිණ. අද අලුයම් කාලය වනවිට ආරක්ෂක අංශ පොල්දූව මංසන්ධිය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබිණ.