ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකිී සිටින්න - යුද හමුදාව

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින්න, නොඑසේ නම් බලතල පාවිච්චි කිරීමට සිදුවෙනවා - යුද හමුදාව

by Staff Writer . 14-07-2022 | 3:44 PM

COLOMBO (News 1st) - ආරක්‍ෂක හමුදාවට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින්  යුද හමුදාව අවධාරණය කරන්නේ ,නොඑසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව ආරක්‍ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවයි. තවද මහජන දේපළ මෙන්ම සියලු මර්මස්ථාන ,මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාව,එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බවත් එවැනි තත්ත්වයකදී උදාවිය හැකි ආදීනවයන් පිළිබඳ වගකීම ,ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බවත් අදාළ නිවේදනයෙන් අධාරණය කර තිබේ. යුද හුමදාව පවසන්නේ, විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් ඊයේ (13) ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කතානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් ග්‍රහණයට ගැනීමට උත්සහ කළ බවයි. පිරිස ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට උත්සාහ කළ බවත්, ඔවුන් සන්තකයේ තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් ය. යුද හමුදාව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ, හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්, භට පිරිස් අත තිබූ ටී - 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමග උදුරාගෙන ඇති බවයි. එහිදී බරපතළ  තුවාල ලැබූ හමුදා සමාජිකයින් දෙදෙනෙකු සහ අනෙකුත් භට පිරිස් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. යුද හමුදාව පවසන්නේ,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස වැඩ බලන ජනාධිපති, කථානායක සහ දේශපාලන පක්‍ෂ නායකයින් සම පැවති රැස්වීම්වලදී අවධාරණයෙන් ඉල්ලා සිටි බවයි. ඒම සාකච්ජාවලදී සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී, මහජන දේපළවලට හානි නොකරන තාක්කල් ,පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළ යුතු බවට එකඟතාව පළ වූ බව ද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ  සඳහන් වේ.