ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා - කතානායක

by Staff writer 14-07-2022 | 10:47 AM

COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකතනයෙන් දැනුම් දුන් බවයි. මේ පිළිබඳ නිව්ස් ෆස්ට් කතානායකවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී කතානායකවරාය කියා සිටියේ තමන් මේ අවස්ථාවේදී දැඩි පීඩනයක සිටින බවත් ඉතා ඉක්මනින් ඉල්ලා අස්වීමෙ ලිපිය යොමු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි. මේ වනවිට වැඩ බලන ජනාධිපතිවරයෙකු පත් කර සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන පිළිබඳව සොයා බලන බව කතානායකවරයා සඳහන් කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු නොකිරීම හමුවේ හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි, පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මේ වනවිට වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂ විපක්ෂ දෙපාර්ශවයටම පිළිගත හැකි අගමැතිවරයෙකු නම් කරන ලෙස කතානායකවරයාට දැනුම් දී තිබේ. මේ අතර රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කළේ, ජනාධිපතිවරයා සිංගප්පුරුවට ළඟා වූ පසුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇතැයි, රජයේ ඉහළ පෙළ ප්‍රකාශකයෙකු පැවසූ බවයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයා තවදුරටත් මාලදිවයිනේ රැඳී සිටින බවයි.