රටේ සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහය දෙන්න-ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

by Sagarika Chathumali 13-07-2022 | 5:46 PM

COLOMBO (News 1st) – මීළඟ ජනාධිපතිවරයා පත්වන තුරු රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙම ඉල්ලීම සිදු කළේ, රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කර ඇති බව සඳහන් කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා  ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රජයේ දේපළ හානි කිරීමෙන් වළකින ලෙසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදුවන බවට කතානායකවරයා තමන් ඇතුළු ත්‍රිවිද හමුදා ප්‍රධානීන් හමුවේ තහවුරු කළ බව ද ඔහු සඳහන් කළේ ය. එම හමුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි ජනාධිපතිවරයා පත් කර ගන්නා තුරු කාල සීමාවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා වෙත දැනුම් දෙන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක්  කර තිබේ. එකී තීරණ අද සවස් භාගයේදී කාතානායකවරයා හා පක්ෂ නායකවරු විසින් රටේ ජනතාව වෙත ප්‍රකාශ කරනු ඇතැයි ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්වාසය පළ කළේ ය.