by Staff writer 13-07-2022 | 5:38 PM
COLOMBO (News 1st) - දෙදෙනෙක් ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයි ද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කැසකවමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ, බල උන්මාදයෙන් පෙළෙන ජනාධිපති අගමැති ප්‍රමුඛ කල්ලියේ ප්‍රෝඩාව වහා නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා තවදුරටත් මේ ප්‍රෝඩාවට ඉඩ නැති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ජනතාවට එරෙහිව මර්දනයේ හස්තය නොයොදන ලෙස ආරක්ෂක අංශවලට පැවසූ විපක්ෂ නායකතුමා ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය සුරැකෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.
සාමකාමී ජන ජීවිතය සමග කරනු ලබන සෙල්ලම නතර කරන්නැයි ද ආණ්ඩුවට බල කළ විපක්ෂ නායකතුමා මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රටේ පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.