ජනපති රටින් පිටත්ව ගියා - අගමැති කාර්යාලය

ජනපති රටින් පිටව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලයත් තහවුරු කරයි

by Sagarika Chathumali 13-07-2022 | 9:37 AM

COLOMBO (News 1st) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින රජයේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බවයි. ගුවන් හමුදා මූලස්ථානය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට අදාළ ගුවන් හමුදා යානය ලබා දුන් බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අද උදෑසනයි. අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද අදාළ විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණ.