by Staff Writer . 13-07-2022 | 9:01 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් බව රොයිටර් පුවත් සේවය පවසයි.
ජනාධිපතිතුමා අද(13) අලුයම මාලදිවයින බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කළේය.
ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව පැවසුවේය.
ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි.
මේ අතර විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බවයි.
අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද BBC පුවත් සේවය වාර්තා කර තිබුණි.