by Staff writer 12-07-2022 | 6:18 PM
COLOMBO (News 1st) - එල්. පී. ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 බැගින් මිලදී ගැනීමට ලිට්‍රෝ සමාගම ඇති කරගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම, එහි සභාපති මුදිත පීරිස්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු වන සාගල රත්නායක, සියම් ගෑස් ට්‍රේඩිං සමාගම, ඇක්ටිව්ස් ඔයිල් ඉන්ඩස්ට්‍රීස් සප්ලයර්ස් සමාගම ඇතුළු 8 දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ මතු වී තිබෙන එල් පී. ගෑස් අර්බුදය සැලකිල්ලට ගෙන ක්ෂණික මිලදී ගැනීම් කිරීමට වගඋත්තරකාර ලිට්රෝ සමාගම තීන්දු කළ බවයි.
ඒ අනුව මිල ගණන් කැඳවීම්වල දී මෙට්‍රික් ටොන් එකක් සඳහා නැව් හා රක්ෂණ ගාස්තු ඇතුළත්ව අමෙරිකානු ඩොලර් 96 ක මුදලකට ගෑස් මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් සැපයීමට සියම් ගෑස් ට්‍රේඩිං සමාගම එකඟ වූ බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පෙත්සමේ සඳහන් ය.
එසේ තිබියදී එම මිලදී ගැනීම අවලංගු කොට ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 ක් බැගින් ඇක්ටිව්ස් ඔයිල් ඉන්ඩස්ට්‍රීස් සප්ලයර්ස් නමැති සමාගමකින් මිලදී ගැනීමට ගිවිසුම් ඇතිකර ගෙන තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.
මේ හරහා විශාල මහජන මුදල් අපතේ යාම සිදු වන අතර මුදිත පීරිස්, රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක යන වග උත්තරකරුවන් බරපතළ මුල්‍ය අක්‍රමිකතාවක් කර ඇති බව ද පෙත්සමෙන් චෝදනා කර ඇත.
ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 බැගින් මිලදී ගැනීමට ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව දැනට ඉදිරිපත් වී තිබෙන අඩුම මිල ගණන් යටතේ ගෑස් මිල දී ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත තවත් නියෝගය නිකුත් කළ ලෙසත් පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.