විදෙස් ගමන් තහනමක් ඉල්ලා මෝසමක්

මහින්ද, බැසිල්, කබ්රාල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

by Staff writer 12-07-2022 | 5:14 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මෝසම ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම නඩුකරයේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපතිවරයා පවා සිටින ස්ථානය දැනගැනීමට මහජනතාවට නොහැකි වී ඇති බවත්, නඩුකරයේ ඇතැම් වගඋත්තරකරුවන් රටින් පළා යාමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මෝසමෙහි දැක්වේ. වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න , පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං , ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.