නව ජනපති තෝරා ගැනීමේ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබන 20 වැනිදා

නව ජනපති තෝරා ගැනීමේ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබන 20 වැනිදා - කතානායක

by Hashini De Mel 11-07-2022 | 6:48 PM

COLOMBO (News 1st); ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බව පක්ෂ නායකයින් අද (11)එකඟතාවයකට පැමිණ තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අනාවරණය කළේ, අද(11) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ය. අද පැවති පක්ෂ නායක රැස්වීමේ අරමුණ වූයේ වත්මන් ජනාධිපතිවරයා ජුලි 13 වැනි දින ධුරයෙන් ඉල්ලා අස්වන බව තමා වෙත ප්‍රකාශ කර ඇති බැවින් ඉතා ඉක්මණින් ගත යුතු ඉදිරි පියවර හා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය. එම රැස්වීමේදී පක්ෂ නායකයින් අවධාරණය කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව සහ 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතට අනුකූලව ඉතාම කෙටි කාලයකින් එම කටයුත්ත ඉටු කළ යුතු බවයි. ඒ අනුව ජුලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරිමෙන් පසු ජූලි 19 වැනිදා අඟහරුවාදා නාම යෝජනා කැඳවීමටත් තීරණය කර තිබේ.