by Staff writer 10-07-2022 | 10:35 AM
COLOMBO (News 1st) - දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව මේ වනවිටත් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටී.
කොළඹට රැස් වූ දහස් සංඛ්‍යාත අරගලකරුවන් ඊයේ(09) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තේ ය.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමිනි.
විරෝධතාවයේ නිරත අරගලකරුවන් ඊයේ උදෑසන චැතැම් වීදිය සහ ඩියුක් වීදිය දෙසින් මෙන්ම බැංකු මාවත, ලෝටස් මාවත හා ගාලු මුවදොර දෙසින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගත්තේ ය.
එහිදී පොලීසිය හා යුද හමුදාව සමග නොසන්සුන් තත්ත්වයක් ද ඇති විය.
චැතැම් වීදිය අසලදී අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ජනාධිපති මන්දිරය දෙසට ඇතුළු වීම අවහිර කරමින් ඉදිකර තිබු ආරක්ෂිත යකඩ වැටවල් සියල්ල අරගලකරුවන් විසින් පෙරලා දමනු ලැබුවේ ය.
එහිදී නැවත වතාවක් අරගලකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
කඳුළු ගෑස් ප්‍රහාර නොතකා තව තවත් ජනතාව චැතැම් වීදිය දෙසට පැමිණියහ.
මේ අතර ගාලු මුවදොර දෙසින් තවත් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගත්තේ පොලීසියෙන් අඛණ්ඩව එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේයි.
මෙහිදී අති විශාල ජනකායක් ගාලු මුවදොර දෙසින් ජනාධිපති මන්දිරය දෙසට ප්‍රවේශ වූ අතර අරගලකරුවන් පොලිස් ජල ප්‍රහාරක රථයක් මතට නැග සිටින අයුරු ද දක්නට ලැබුණි.
අරගලකරුවන් දහස් ගණනින් ඒකරාශීවිමත් සමග ඔවුන් ආරක්ෂිත රැකවල් බිඳ දමමින් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළහ.
එහිදී ජනාධිපති මන්දිරයේ දොරටුව දෙසින් වෙඩි ශබ්ද ඇසෙන්නට විය.
අනතුරුව අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එම මන්දිරය අත්පත් කර ගත්තේ ය.
ඔවුන් මන්දිරය තුළ සැරිසරන ආකාරයත්, පිහිනුම් තටාකයේ දිය නානා අයුරුත් දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි.
ජනාධිපති මන්දිර භූමියේ ආරක්ෂක අංශ රැඳී සිටි අතර අරගලකරුවන් එහි දේපොළ හානි කරන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
මේ අතර ගෝඨාගෝගම පරිශ්‍රය දෙසින් විරෝධතාවයේ නිරත අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක රැකවල් බිඳ දමමින් ජනාධිපති කාර්යාලය ද අත්පත් කර ගත්තේ ය.
ඒ ආරක්ෂක අංශ වෙතින් එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර ද නොතකමිනි.
ජනධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් එහි ජාතික ධජය ඔසවනු ලැබුහ.