ගාල්ල, මාගාල්ලේ තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මරුට

by Staff writer 08-07-2022 | 8:01 AM

COLOMBO (News 1st) – ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රි ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි  සරසවි  ශිෂ්‍යයෙකි. පොලිසිය පැවුසවේ, දින කිහිපයක සිට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිටි මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ යහළුවෙකුත්, යහළුවාගේ සහෝදරයා හා බිරිඳ පැමිණ ඇති අතර එම සිව්දෙනා ම තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී නතර කර තිබූ මෝටර් රථය ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබීම නිසා ඒ පිළිබඳව විමසීමට යාමේදී මෙම ආරවුල හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. පහරදීම්වලින් මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු හමුවීමට පැමිණ සිටි යහළුවායි. මෝටර් රථයේ හිමිකරු හා මියගිය තරුණයාගේ සහෝදරයා ද පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලිසිය පැවසුවේ, පහරදුන් පාර්ශවයේ අයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඉන්ධන පිරවුම් හලේ සිට මීටර් 200 කට ආසන්න දුරකිනි.