පාස්පෝර්ට් පෝලිමේදී දරුවෙක් උපදී...

පාස්පෝර්ට් පෝලිමේදී දරුවෙක් උපදී...

by Staff writer 07-07-2022 | 3:02 PM

COLOMBO (News 1st) – දරුවෙකු බිහි කිරීම සඳහා ආරක්ෂිත පරිසරයක පහසුකම් ලබා ගැනීම කාන්තාවකට ඇති අයිතියකි.

එහෙත් පවතින සමාජීය ආර්ථික අර්බුදය හමුවේ එම අයිතියත් නොලැබී යන තත්ත්වයක් අද (07) බත්තරමුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් වාර්තා විය. හැටන් ප්‍රදේශයේ ගැබිණි මවක් තම සැමියා ද සමග බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණියේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සකසා ගැනීම සඳහායි. දරු ප්‍රසූතියට සූදානමින් සිටි ඇයට අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ප්‍රසව වේදනාව දැනී තිබේ. කෙසේ වෙතත් යුද හමුදාව මැදිහත්ව අදාළ කාන්තාව කාසල් වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර , එහිදි ඇය දියණියක ප්‍රසූත කළ බව යුද හමුදාව පැවසුවේ ය. 26 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව දින 2ක් පාස්පෝර්ට් පෝලිමේ රැඳී සිටි බව වාර්තා වෙයි.