තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 3කට කොවිඩ්...

ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දුටත් කොවිඩ්

by Staff Writer . 07-07-2022 | 5:02 PM

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ඇතුළත් ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ සිදු කළ පරීක්ෂණයකින් අදාළ ක්‍රීඩකයින් තුන් දෙනා කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇති බවයි. මේ අතර එම ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටලයෙන් ඉවත් කර වෙනත් හෝටලයකදී නිරෝධායනයට යොමු කර ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ. කොවිඩ් 19 ආසාදනය වීම නිසා ප්‍රවීන් ජයවික්‍රම ද පසුගියදා නිරෝධානයට යොමු කළේ ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූ බවයි. ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ප්‍රභාත් ජයසූරිය සංචිතයට එක්ව ඇතැයි කණ්ඩායමෙන් ලැබෙන වාර්තාවල සඳහන් ය. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.