IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්...

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්...

by Staff Writer . 05-07-2022 | 9:35 AM

COLOMBO (News 1st) –  ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ.

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍යතාව මත අදාළ බවුසර් රථ ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් අයි.ඕ.සී. සමාගමට ලබාදෙමින් ඇති බවයි. මේ අතර, ලංකා අයි.ඕ.සී. පිරවුම්හල්වල ටෝකන් නිකුත් කිරීම අත්හිටවූ බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. ඒ, ටෝකන් හේතුවෙන් මතුවූ ගැටලු සැලකිල්ලට ගනිමිනි. ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවසුවේ, පවතින අධික ඉල්ලුමට ඉන්ධන සැපයීමට නොහැකි වුවත් හැකි උපරිම අයුරින් ඒ සඳහා ක්‍රියාකරන බවයි. මේ වනවිට ත්‍රිකුණාමලයේ සිට දිවයිනේ සියලු ප්‍රදේශවලට බෙදාහැරීම් සිදුකරන බවත් අපනයන කර්මාන්ත සඳහා ද ඉන්ධන නිකුත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ලංකා අයි.ඕ.සී. ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ, ඉරිදා දිනයත් සෑම දිනකම රාත්‍රී 10 දක්වාත් තම සැපයුම් ජාලය ක්‍රියාත්මක කරමින් උපරිම ධාරිතාවයෙන් කටයුතු කරන බවයි. සිපෙට්කෝ ආයතනයට ඩීසල් මෙට්‍රික් ටොන් 7,500 බැගින් ලබාදීමට ද ලංකා ඉන්දීය ඔයිල් සමාගම පියවර ගෙන ඇති අතර දුම්රිය දෙකක් ද ඒ සදහා වෙන්කර තිබේ. මේ අතර අයි.ඕ.සී. සමාගම සතුව ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි තුනක පෙට්‍රල් පවතින අතර ලබන 13 වෙනිදා ඔවුන්ට අවශ්‍ය ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ද ළඟාවීමට නියමිතයි. මේ අතර දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් වසා දමා තිබේ. ඉන්ධන ලබාගැනීම සඳහා සිපෙට්කෝ ආයතනයට රුපියල් මිලියන 700 ක මුදලක් ගෙවා තිබුණ ද ඉන්ධන ලැබෙන දිනයක් මෙතෙක් දන්වා නැතැයි, සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. ලබන 12 වනදා ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, සිංගප්පුරු සමාගමකින් ඇනවුම් කරන ලද තොගයක් එලෙස රැගෙන එන බවයි. පෙට්‍රල් රැගත් මැලේසියානු නෞකාවක් ලබන 20 වනදා පමණ මෙරටට ළඟාවනු ඇති බවත් එම නැව කලින් ගෙන්වා ගැනීමට දැඩි උත්සාහයක් සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. අත්‍යවශ්‍ය සේවා සඳහා දෛනිකව අවශ්‍ය ඉන්ධන තොග අදත් බෙදාහරින බව, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.