බෝම්බ බියක් ගැන සඳහන් බුද්ධි තොරතුරු ලිපියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

by Staff Writer . 04-07-2022 | 4:31 PM

COLOMBO (News 1st): පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලැදැයි කියන බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (04) මාධ්‍ය හමු දෙකක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසන්නේ, ආණ්ඩුව යම් විදෙස් ඔත්තු සේවාවක මැදිහත්වීමකින් බෝම්බ පිපිරීමට ඉඩක් ඇති බවට පොලිස්පතිවරයා හරහා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි.
''මේ ලිපියෙන් ඔවුන් කරුණු දෙකක් අවධාරණය කරනවා . එක් කරුණක් තමයි ජූලි මාසේ 5 සහ 6 දෙදිනින් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කර ගෙන විදේශී‍ය ඔත්තු සංවිධානයක් මැදිහත් වෙලා උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තියෙනවා ය කියලා මේ වාර්තාවේ සඳහන් කොට තිබේ. ඔවුන් කියනවා විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තතු ගැනීමට සූදානම් වී ඇති බවත් දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවය කරන පිරිස් හා ප්‍රභූවරුන්ට 5 සහ 6 යන දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙස දැනුම්දී ඇති බවත් සඳහන් ය''
ජනතා විමුක්ති පෙරමුණු නායකවරයා අවධාරණය කරන්නේ, මෙහි ඇත්තේ, කවර තොරතුරුද? එම තොරතුරු පැමිණියේ කුමන උපාය මාර්ගයකින් ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව නිශ්චිතව රටට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇති බවයි. ආණ්ඩුවට විරුද්ධව ජනතාවගෙන් පැන නැගෙමින් ඇති විරෝධතාවලට බලපෑමක් එල්ල කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ ද යන සැකයක් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා පවසයි. තව ද අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ,  ප්‍රාදේශීය සභා හා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් ඉලක්ක කර ගෙන එවැනි ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ හා විරුද්ධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවට ද ආණ්ඩුව කරුණු ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව මෙය ඉතාම විහිළුජනක විකට ලිපියක් බවත් මේ හරහා සමාජය බියවද්දා දේශපාලන ව්‍යාපාර වෙත විවිධ ලේබල් ඇලවීමට ආණ්ඩු උත්සාහ කරමින් සිටින බවත් ජවිපෙ නායකවරයා වැඩිදුරටත් පවසයි.
''මෙවැනි බොලද ක්‍රියා මගින් ජනතාවගේ උද්ඝෝෂණ ජනතාව එළියට බැසීම වළක්වන්න පුළුවන් කියලා ආණ්ඩුව විශ්වාස කරන්නේ නම්, මේ කරපු හැම මෝඩ ක්‍රියාවක් ම සේම මෙයත් මෝඩ විසුළු ජනතක නිවේදනයක් ලෙසයි අපි දකින්නේ ආණ්ඩුව ඇතුළේම සැලැස්මක් තියෙන්න පුළුවන් මෙවැනි සාමාජ තත්ත්වයක් මෙවැනි ක්‍රියාකාරකමක් ඇති කරන්න''
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව පවසන්නේ, මෙය තිර පිටපතක් බවයි.
''ඒ ගොල්ලම ප්‍රවෘත්තිය එළියට දානවා. ගහන්න ඉන්නවා කියලා ඒගොල්ලම ගහනවා ගහලා ලස්සනට පෙළ හදලා පිටපත සම්පූර්ණ කරනවා''
ඉදිරි දින කිහිපයේ රට තුළ දැවැන්ත මහජන නැගිටීමක් සිදුවන බවත් එකී මහජන උද්ඝෝෂණ මර්දනය සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවත් පවසන  දුමින්ද නාගමුව වැඩිදුරටත් කියා සිටින්නේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කර ගෙන යම් මර්දනකාරී පත්තත්වයකට සූදානම් වනවා ද යන සැකය ඉදිරිපත් කර ඇති ලේඛන හරහා මතුවන බවයි.
''අපි පැහැදිලිව කියනවා. මේ මර්දනයට අපි ඉඩ දෙන්නේ නෑ. ජනතාවටත් අපි කියනවා මේ මර්දනයට විරුද්ධව පෙරට එන්න''
මෙම ලිපිය පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, එවැනි ලිපියක් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට යොමුකරනු ලැබ ඇති බවයි. සාමාන්‍යයෙන් ලැබෙන තොරතුරු අනුව එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මෙවැනි ලිපි ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.