මුහුදු රළ නිසා ගාලු පාරේ වාහන ධාවනයට තවදුරටත් බාධා

මුහුදු රළ පැමිණීම නිසා ගාලු පාරේ රථ වාහන ධාවනයට තවදුරටත් බාධා

by Staff writer 03-07-2022 | 9:13 AM

COLOMBO (News 1st) - ගාලු පාරේ අම්බලන්ගොඩ පොලිස් වසමේ උස්මුදුනාව හන්දියේ සිට කුමාර කන්ද හන්දිය දක්වා කොටස තවදුරටත් තාවකාලිකව වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම මාර්ග කොටසට මුහුදු රළ පැමිණීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා මතුව ඇති බවයි. ඒ හේතුවෙන් උස්මුදුනාව, අලුත්වල, මීටියාගොඩ, ගෝනපිනුවල, කුමාරකන්ද මාර්ගය හෝ වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය ඊට හේතු වී ඇති බවයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි වේ. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.