පාසල් පැවැත්වීම ගැන තීරණයට විශේෂ රැස්වීමක්

පාසල් පැවැත්වීම ගැන තීරණයක් ගැනීමට අධ්‍යාපන බලධාරීන් අද රැස්වෙයි

by Staff writer 03-07-2022 | 7:17 AM

COLOMBO (News 1st) - පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් සහ පසුගිය සතියේ පාසල් අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සමාලෝචනය කිරීමේ අරමුණින් අධ්‍යාපන බලධාරීන් අද (03) පෙරවරුවේ රැස්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංයේදී එම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසල් රැසක විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත. එහිදී පසුගිය සතියේ දිවයින පුරා පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සිදු කළ දීපව්‍යාප්ත සමීක්ෂණයේ දත්ත සමාලෝචනය කර ඉදිරියේදී පාසල් අධ්‍යයන කටයුතු පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය. පවතින ඉන්ධන හිඟය හමුවේ පසුගිය සති දෙකක කාලය තුළ කොළඹ හා තදාසන්න නගරවල පාසල් පැවැත්වුනේ නැත. ග්‍රාමීය පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා තීරණය කර තිබේ.