ඖෂධ හිඟයක් ඇතිවීමට හේතුව?

ඖෂධ හිඟයක් ඇතිවීමට හේතුව රජයේ විගණකාධිපති සොයා ගනී

by Staff writer 03-07-2022 | 2:47 PM

COLOMBO (News 1st) - රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව විනිමය හිඟය නොවන බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.

සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, විනිමය හිඟය ඖෂධ සැපයීම හිඟ වීමට බලපෑ ආසන්නතම හේතුව පමණක් වන බවයි. වෛද්‍ය සැපයීම් කළමනාකරණය කිරීම සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි පරිදි යාවත්කාලීන නොකිරීම සහ නිසි පරිදි භාවිතයට නොගැනීම, සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහ සම්බන්ධයක් නොතිබීම ඖෂධ හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බව සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණය වන්නේ ඇණවුම් කරන ඖෂධවල ප්‍රගතිය සහ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් ඖෂධ නීතිගත සංස්ථාව තුළ නොවීමත් පවතින ඖෂධ හිඟයට හේතු වී ඇති බවයි. වර්ෂ ගණනාවක සිට ප්‍රසම්පාදන කාල සටහනකට අනුව ඇණවුම් සිදු නොකිරීමත් ඖෂධ හිඟයට හේතු වී ඇතැයි සඳහන් වේ. 2022 වසරේ මැයි 13 වැනිදා වනවිට රජයේ රෝහල් තුළ පවතින ඖෂධ හිඟය හා ඒම හිඟය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විගණකාධිපතිවරයා සිදුකළ විශේෂ විගණන වාර්තාව මගින් මෙම කරුණු හෙළි කර තිබේ. විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමේ වගකීම පැවරී ඇති ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම හා එම ආයතනවල අකාර්යක්ෂමතාව මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. මේ හේතුවෙන් ඖෂධ මිලදි ගැනීමේ ක්‍රියාවලිය ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවල සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව දක්වා වරින්වර පහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු දක්වා විතැනි වී ඇති බව එම වාර්තාවෙන් විගණකාධිපතිවරයා හෙළි කර තිබේ. මේ හේතුවෙන් ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති බව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් ය. මෙම විශේෂ විගණන වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන මේරෝපෙනියම් නම් එන්නත 2021 වර්ෂය සඳහා ලබා ගැනීම වෙනුවෙන් 2020 වර්ෂයේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ඇණවුම් සිදු කළත් අදාල කටයුතු විවිධ හේතුමත ප්‍රමාද වී තිබේ. මෙම අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධය නිසිකලට සැපයීම ප්‍රමාද විම හමුවේ රුපියල් 481 කට ලබා ගත හැකිව තිබු එක් එන්නතක් රෝහල් මගින් දේශිය වෙළෙඳපොළෙන් එකක් රුපියල් 1956 ත් රුපියල් 4697 ත් අතර ඉහළ මිලකට මිලදි ගැනීමට සිදුවි ඇති බව වාර්තාවේ සඳහන් ය. අදාල ඖෂධය සැපයීම ප්‍රමාද වීම හමුවේ වරින් වර දේශිය වෙළෙඳපොළෙන් වැඩි මිලට මිලදි ගැනීම සඳහා රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් වැය කර ඇති බව විගණකාධිපතිවරයා සිය වි‍ශේෂ වාර්තාවෙන් අනාවරණය කර ඇත. විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයක් ස්ථාපිත කිරීමත් ඖෂධ හිඟය ඇතිවීමට වක්‍රාකාරයෙන් බලපා ඇත.