වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුධ හමුදා කඳවුරෙන් ඉන්ධන

වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුධ හමුදා කඳවුරෙන් ඉන්ධන - මහජන ආරක්ෂක ආමාත්‍යාංශය

by Staff writer 02-07-2022 | 2:26 PM

COLOMBO (News 1st); වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සැපයීමට තීරණය කළ බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා යුද හමුදාපතිවරයා ද සිය කැමැත්ත පළ කළ බවය. ඉන්ධන පිරවුම්හල්වලින් වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් කිරීමේදී ඇතිවන කලහකාරි සිදුවීම් සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹ තිබේ. මීට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හා ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන රථ සඳහා ද යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කළ බව ලේකම්වරයා පැවසුවේ ය. නුවරඑළිය ,කැප්පෙටිපොල ,දඹුල්ල ,තඹුත්තේගම,මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආසන්න යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ ,ගිලන් රථ හා සංචාරක බස් රථ සඳහා තවදුරටත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද මහජන ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ ය.