කන්දකාඩු රැඳවියාගේ මරණය:සැකකරුවන් රිමාන්ඩ්

කන්දකාඩු රැඳවියාගේ මරණය:අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

by Staff writer 02-07-2022 | 6:13 PM

COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද හමුදා සැරයන්වරයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහය උපදේශකවරුන් ලෙස කටයුතු කර තිබේ. සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත අදාල රැඳවියාට පහර දීම සඳහා යොදා ගත් බව කියන ඝණකම් විදුලි වයරයක්, හා උණ පතුරු 2 ක් ද පොලීසිය සොයා ගත්තේ ය. මේ අතර මියගිය රැඳවියාගේ සිරුර ඔහුගේ බාල සහොදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ලබන 5 වැනි දා සිදු කිරීමට නියමිතයි. පොලීසිය පැවසුවේ, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් හා භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. කඳවුරේ රඳවා සිටි රැඳවියන් 998 දෙනාගෙන් 272 දෙනෙකු මේ වනවිට කඳවුර භාරයේ සිටින අතර තවත් රැඳවියන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේ ය. එම රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0718 591 235 දරණ වැලිකන්ද පොලිස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. පසුගිය ජුනි මස 29 වැනි දා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුමකදී මෙම ඝාතනය සිදු විය.