ඔස්ට්‍රේලියාවේ කඩුලු 8ක් බිඳ වැටෙයි..

දෙවන දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියාවේ කඩුලු 8ක් බිඳ වැටෙයි..

by Staff writer 30-06-2022 | 9:51 PM

COLOMBO (News 1st) – වෝන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. ඔස්ට්‍රේලියා කණ්ඩායම අද(30) තරගය නතර කරන විට පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 313 ක් රැස් කර ගෙන සිටියේ ය. වර්ෂාව සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද තරගය ආරම්භ කිරීම පැය කිහිපයක් ප්‍රමාද විය. ක්‍රීඩාගාරයේ ස්ථාන කිහිපයක වහල ගැලවී ඒවාට හානි සිදුව තිබුණි. පස්වරු 1.45 ට පමණ තරගය ආරම්භ කළේය. පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියාවේ සිව්වැනි කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 6 කට දැවී ගියේ ය. 17 වැනි අර්ධ ශතකය වාර්තා කළ උස්මාන් කවාජා ලකුණු 71 කි. ඇලෙක්ස් කේරි ලකුණු 45 කට දැවී ගිය අතර 5 වැනි අර්ධ ශතකය වාර්තා කළ කැමරන් ග්‍රීන් ලකුණු 77 ක් රැස් කළේ ය. දිනය නිමා වනවිට රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් දවා ගෙන සිටි අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 2 යි. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා, රමේෂ් එක පැත්තකින් බෝල් කරද්දී විකට්ස් ගද්දී හොඳට බෝල් කරද්දී අනිත් පැත්තෙන් ප්‍රෙශර් එක බිල්ඩප් කරන්න ඕනේ. අපේ අතින් ඒක වුණේ නෑ. අපිට ධනංජය ද සිල්වා මීට වැඩිය පාවිච්චි කරන්න තිබ්බයි කියන එක මගේ පෞද්ගලීක මතය. අපේ බෝලිං කම්බිනේෂන් වල ප්‍රශ්ණයක් තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපිට ලැබෙන පිච් එකේ අපි දැන් ගන්න ඕනේ අපේ ස්පේ කරන පැටන් එක එකට අදාලව හරි ගස්සා ගන්න.