පළමු දිනයේ කඩුලු 13ක් බිඳ වැටෙයි..

'වෝන් - මුරලි කුසලානය' අරඹමින් පළමු දිනයේ කඩුලු 13ක් බිඳ වැටෙයි..

by Staff writer 29-06-2022 | 8:46 PM

COLOMBO (News 1st) - ''වෝන් - මුරලි කුසලානය'' වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) ආරම්භ විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 98 කි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි. අද තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් අනුස්මරණය කිරීමට උත්සවයක් ද සංවිධානය කර තිබුණි. ඒ, වෝන්ගේ පවුලේ සාමාජිකයින්, සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්ය. දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අද ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා ගත්තේ ය. නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 38කි. නිස්සංක ලකුණු 23 කට හා දිමුත් ලකුණු 28 කට දැවී ගියේ ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 යි. ටෙස්ට් පිටියේ 21 වැනි අර්ධ ශතකය වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී නේතන් ලයන් ලකුණු 90 කට කඩුලු 5 ක් දවා ගත්තේ ය. අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 83 කදී බිඳ වැටුණි. ඩේවිඩ් වෝනර් ලකුණු 25 කට දැවී ගිය අතර මානස් ලැබුශේන් ලකුණු 13 යි. ස්ටීවන් ස්මිත් ලකුණු 6 කට දැවී ගියේ ය.