ඉන්ධන නැවක් ගැන තවමත් තොරතුරක් නැහැ...

ඉන්ධන නැවක් ගැන තවමත් තොරතුරක් නැහැ...

by Staff Writer . 29-06-2022 | 9:22 AM

COLOMBO (News 1st) – ඉන්ධන නෞකාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැත.

නමුත් ජනතාව ටෝකන් ඇතිව හෝ නැතිව ඉන්ධන පෝලිමේ සිටින්නේ දින ගණනක සිටයි. මේ අතර අදත් සීමා සහිතව ඉන්ධන නිකුත් කෙරෙන්නේ අයි.ඕ.සී. සමාගමේ පිරවුම්හල් සඳහා පමණයි. ඊයේ රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කෙරිණ. අප වාර්තාකරු පැවසුවේ, පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 56 ක් පමණ ඊයේ රාත්‍රිය වන විට නිකුත් කර තිබූ බවයි. කෙසේ වෙතත් අයි.ඕ.සී. සමාගමෙන් පෙට්රල් නිකුත් කෙරෙන්නේ , යතුරු පැදි සඳහයා රුපියල් 1500ක් , ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2500ක සහ මෝටර් රථ සඳහා රුපියල් 7000ක සීමාවක් යටතේයි. මේ අතර අත්‍යාඅවශ්‍ය සේවාවලට ඉන්ධන නිකුත් කිරීමත් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රාත්‍රියේත් උණුසුම් තත්ත්වයන් හට ගත්තේ ය. හොරණ සහ බදුල්ල ඉන්ධන පිරවුම්හල අසල ඊයේ රාත්‍රියේත් දිගු පෝලිම් පැවතිණ. කළුතර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ඊයේ ඉන්ධන ලබා දුන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි. ඊට පෝලිමේ සිටි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. අම්බලංගොඩ ඉන්ධන පිරවුම්හලේත් ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ පොලිස් නිලධාරීන්ට පමණක් ඉන්ධන ලබා දීම හේතුවෙනි. මේ අතර කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාද් ෂෙරීදා අල් කාබි මහතා හමුවී තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා ඛනිජතෙල් නිෂ්පාදන, එල්. පී. ජී. හා එල්.එන්.ජී ගෑස් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි. කටාර් සංවර්ධන අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර තිබේ. කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කටාර් එනර්ජි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.