අමෙරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

IMF සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අඛණ්ඩව සහය දෙනවා - අමෙරිකානු දූත පිරිස ජනපතිට කියයි

by Staff writer 27-06-2022 | 7:17 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග ඇති කරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ.

ඒ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව අද(27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති හමුවේදීය. දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා මේ වනවිට රටේ පවතින ආර්ථික අසීරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුවත් කළේ ය. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් අමෙරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කර තිබේ.