රාජ්‍ය සේවකයින්ට නිකුත් කළ චක්‍රලේඛය දීර්ඝ කෙරේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කෙරේ

by Staff writer 26-06-2022 | 5:09 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීය යුතුය. හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන්ට නිවසේ රැඳී සිටිමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ. ජනතාව සමග සෘජුවම ගනුදෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම අදාළ අමාත්‍යාංශ ලේකම් හෝ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතුය. මෙම කාලය තුළ ඉන්ධන උපරිමයෙන් පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු අතර සියලු රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.