ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් තාවකාලිකව වැසේ

පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ...හමුදා ආරක්ෂාව දෙන්න. පිරවුම්හල් හිමියෝ ඉල්ලති

by Staff Writer . 26-06-2022 | 12:01 PM

COLOMBO (News 1st) – පවතින ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් පමණ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා පැවසුවේ දින තිහකට පෙර ඇනවුම් සිදුකළ ද මෙතෙක් ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබි නොමැති බවයි. බැංකු ණය ලබා ගනිමින් ඇනවුම් සිදු කර ඇති බැවින් පිරවුම් හල් වෙත ඉන්ධන නොලැබිම හමුවේ තමන් දැඩි දුෂ්කරතාවයට පත්වි ඇති බව ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා පවසයි. මේ අතර ඉන්ධන පිරවුම් හල්වල ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බැවින් හමුදා ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ඉල්ලිමක් කරයි. ඊළඟ ඉන්ධන නෞකාව පැමිණෙ ගොඩබාන තුරු පොදු ප්‍රවාහනය , බලශක්ති උත්පාදනය, හා කර්මාන්ත සදහා ඉන්ධන සැපයීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිමෙන් වළකින ලෙසයි. පවතින තත්ත්වය තුළ ඉන්ධන රැගත් නෞකා දිවයිනට පැමිණෙන දින තහවුරු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි බව ද අමාත්‍යවරයා පැවසී ය. මීළඟ බොරතෙල් නෞකාව ලැබෙන තෙක් ඉන්ධන පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව නතර කෙරෙනු ඇති. ඉන්ධන තොග ලබා ගැනීම සඳහා දැනට සිටින සහ නව සැපයුම්කරුවන් සමග කටයුතු කරගෙන යන බවත් සිදුවන ප්‍රමාදය සහ අපහසුතාවට සමාව අයදින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ ය. මේ අතර දැනට ඇති සංචිතවලින් හෝ ඉන්ධන ලබාගැනීමේ අරමුනින් පිරවුම්හල් අසල ජනතාව තවදුරටත් රැය පහන් කරමින් දිගු පෝලිම්වල රැඳී සිටී.