ඉන්ධන ටැංකි විවෘත කිරීමට පොලිසිය මැදිහත් වෙන්න එපා

ඉන්ධන ගබඩා ටැංකි විවෘත කිරීමට පොලිස් නිලධාරින් මැදිහත් වෙන්න එපා - පොලිස් මූලස්ථානය

by Staff writer 25-06-2022 | 7:30 AM

COLOMBO (News 1st) – මහජනතාවගේ ඉල්ලීම්වලට අනුව ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ගබඩා ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් නිලධාරින් උපදෙස් දී තිබේ.

ඒ හේතුවෙන් ඉන්ධනහල්වල සේවයේ නියුතු පොලිස් නිලධාරින්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරියෙකුගෙන් මෙම ගබඩා ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් නොකරන ලෙසට පොලීසිය මහජනතාවට දැනුම් දෙයි. පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ , ඉන්ධන අවසන්වීමත් සමග පෝලිම් රැඳී සිටින පිරිස් ඉන්ධන ගබඩා කර තිබෙන ටැංකි විවෘත කර පෙන්වන ලෙසට පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටින අවස්ථා නිරීක්ෂණය වී ඇති බවයි. පොලිසිය මැදිහත් වී එම ටැංකි විවෘත කිරීමට යාමේදී යම් කඩාකප්පල්කාරි පුද්ගලයකු අනතුරුදායක ක්‍රියාවක් සිදුකළහොත් හෝ අත්වැරදීමකින් හෝ යම් සිදුවීමක් සිදුවුවහොත් පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් වගකීම දැරීමට සිදුවන බව ද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉන්ධන ටැංකි විවෘත කිරීමට පොලිස් නිලධාරින්ගේ කාර්යභාරයක් නොවන බවයි. ‍ එය අවසර ලද තැනැත්තන් පමණක් ආරක්ෂා සහිතව කළයුතු කාර්යක් බව ද පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.