ශ්‍රී ලංකාව 3-2ක් ලෙස එක්දින තරගාවලිය ජය ගනී

5වන තරගයේ ජය ඔස්ට්‍රේලියාවට: ශ්‍රී ලංකාව 3-2ක් ලෙස එක්දින තරගාවලිය ජය ගනී..

by Staff writer 24-06-2022 | 10:23 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් අද(24) ජය ගත්තේය.

කෙසේ වෙතත් දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ තරග 3 ට 2 ක් ලෙසය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගය ආරම්භයට පෙර ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය පුද කළේ මෙලෙසිනි. "ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඉතාමත්ම හොඳ ප්‍රේක්ෂකයින් අපිට දැක ගන්නට පුළුවන් වුණා. අපිට ගොඩක් සතුටුයි ලංකාවේ සංචාරය කිරීමට ලැබීම පිළිබඳව" වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තේ මෙරට 205 වැනි ක්‍රීඩකයා ලෙසය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සමගින් පැතුම් නිස්සංක. නිස්සංක ලකුණු 2 කට දැවී ගිය අතර ගුණතිලක ලකුණු 8 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 26 කට දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 14 කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8 ක් ලකුණු 85 කදී බිඳ වැටුණි. අද දින එක්දින වරම් දිනූ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 15 යි. චාමික කරුණාරත්න පන්දු 75කදී ලකුණු 75 ක් රැස් කරමින් එක්දින පිටියේ මංගල අර්ධ ශතකය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160කි. ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 14 කදී බිඳ වැටුණි. නායක ඒරන් ෆින්ච් ලකුණු නොලබා දැවී ගිය අතර ඩේවිඩ් වෝනර් ලකුණු 10 යි. මිචෙල් මාෂ් ලකුණු 24 ක් රැස් කළ අතර මානස් ලැබුෂේන් ලකුණු 31 ක් රැස් කළා. ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 45 යි. ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. වසර 30කට පසුව ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ජය ගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.