ලංකාවට සහය දෙනවා -යුරෝපා තානපතිවරුන් -

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්හරින්නේ නැහැ... යුරෝපා තානාපතිවරු ජනපති හමුවේ කියති

by Staff writer 24-06-2022 | 4:59 PM

COLOMBO (News 1st) – අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහය ලබාදෙන බව යුරෝපා කලාපයේ රටවල්වල තානාපතිවරුන් අද (24)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ.

තානාපතිවරුන් පවසා ඇත්තේ යුරෝපා කලාපීය රටවල් ශ්‍රි ලංකාවේ මිත්‍රයින් සේ සලකන ලෙසයි. කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවති හමුවේදී ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ස්ථිර පණිඩුවයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට මෙරටට පහසුවෙන් සහාය විය හැකි බව යුරෝපා කලාපීය දූත මණ්ඩල සාමාජිකයින් වැඩිදුරටත් පවසා තිබේ. ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළේ, මෙරට ජනගහනයෙන් 75% ක් කෘෂි කර්මාන්තයේ නියැලෙන අතර ඔවුන්ට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන්ද විසදුම් ලබාගත හැකි බවයි. යුද්ධයෙන් පසුව ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දිගුකාලීන විසදුම් ලබාදීමටත්, නීතිය ක්‍රියාත්මකවීමේදී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති බවත්, ජනාධිපතිවරයා යුරෝපා කලාපීය තානාපතිවරුන්ට පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙම සාකච්ඡාවේදී ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.