ණය ගන්නවට වඩා මම දන්නෙ ඩොලර් හදන විදිහයි - ධම්මික පෙරේරා

by Janitha Mendis 22-06-2022 | 4:35 PM

COLOMBO (News 1st) –  ඩොලර් නොමැතිවීම තුළ රටේ සියලු ප්‍රශ්න නිර්මාණය වී ඇති බවත් ඒ අනුව තමන් රටට ඩොලර් ගෙනෙන වැඩපිළිවෙළක් සඳහා මූලිකත්වය ලබා දෙන බවත්  මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු ලෙසයි. රටේ පවතින ප්‍රශ්න සඳහා තමා ක්ෂණික විසඳුමක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා කියා සිටියේ, ණය ගැනීමට වඩා රටට ඩොලර් ගෙනෙන ආකාරය පිළිබඳව තමන් දන්නා බවයි. ඊට අදාළ  තම සලසුම ඉදිරි දෙසතිය තුළ ඉදිරිපත් කරන බව ද ධම්මික පෙරේරා කියා සිටියේ ය. තමන් මන්ත්‍රී ධුරය භාර ගත්තේ රට තුළ මේ මොහොතේ මුහුණ දී සිටින ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා බව ත් එම අභියෝගය ජය ගත හැකි බවට තමන්ට විශ්වාසයක් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
''රටට වැඩක් කරන්න තමයි මම ආවේ වත්කම් ,බැරකම් ප්‍රකාශ කතානායකවරයාට ලබා දුන්නා. ටැක්ස් ක්ලියරන්ස් සහතිකයත් ලබා දුන්නා. මං හිතනවා, එතනින්ම වෙනසක් සිදු වෙයි කියලා. ප්‍රශ්නය තියෙන නිසා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ ප්‍රශ්නයට විසඳුම් හොයන එක තමයි, මගේ කාර්යභාරය. ඒක කරලා ජය ගන්න පුළුවන්''
තමන්ට හොඳ අමාත්‍යාංශයක් භාර දෙනු ඇතැයි විශ්වාසය පළ කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කිනම් අමාත්‍යාංශයක් භාර දුන්න ද එකී වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවයි.
''මම හිතනවා මගේ දක්ෂතාවය අනුව , දැන් අමාත්‍යාංශ දෙකක් ගැසට් කරලා තියෙනවා බලමු මොකක්ද හම්බ වෙන්නෙ කියලා,  අමාත්‍යාංශ 23ක් මගේ පොතේ ලියලා තියෙනවා. ඒ 23න් ඕන එකක් මට හම්බ වු‍ණොත් කරන්න ලෑස්තියි''
රැකියා අහිමි වන බව පැවසෙන අවස්ථාවක රැකියා නිර්මාණය කිරීම සඳහා තමන් පැමිණි බව ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය. රටේ තරුණ ප්‍රජාවගේ සිතුම්පැතුම් තමන්  හොඳින් හඳුනන බව කී මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, එකී අභියෝගය වඩාත් හොඳින් තමාට ජය ගත හැකි බවයි.
''මගේ ගෙදරත් මේ වගේම තරුණ අය ඉන්නෙ ඒ හින්දා මම ඒගොල්ලන්ගෙ සිතුම්පැතුම් හොඳට අඳුරනවා. ඒ අභියෝගය තමයි වැඩියෙන්ම ජය ගන්න පුළුවන්''
ප්‍රශ්නය :- ඔබතුමා හිතන්නෙ නැද්ද මේ ගිලෙන නැවකට නැග්ගා කියලා මේ ඊට මන්ත්‍රීවරයා ලබාදුන් පිළිතුරයි මේ,
''මේක හැමෝටම ගිලෙන නැවක් කියලා පෙනුනට මට පේන්නෙ නෑ ගිලෙන නැවක් කියලා. මොකද සාමාන්‍යයෙන් මිනිස්සු ගිලෙන නැව්වලට නිගින්නෙ නෑ නේ, මේක ගිලෙන නැවක් කියලා මං දකින්නෙ නෑ. මං දකින්නෙ මේ වේගයෙන් පැද්දෙන නැවක් කියලා මං මේකට නැග්ගෙ ඒ පැද්දිල්ල නවත්තන්න''
සිය කැමැත්තෙන්ම තමාට මන්ත්‍රී ධුරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළ ඔහු පැවසුවේ, අද පස්වරුවේ තමන්  මහින්ද රාජපක්ෂ මහතා ද හමුවන බවයි.
''බැසිල් මහත්තයා කතා කළා. එතුමට මම ස්තුතිවන්ත වෙනවා. වෙන එක්කෙනෙකුට තමයි මට දෙන්න කියලා කිව්වෙ හැබැයි එතුමා තමන්ගෙ පුද්ගලික කැමැත්තෙන් අවස්ථාව ලබා දීම ගැන එතුමාට මම බොහොම ගෞරව කරනවා''
ප්‍රකට ව්‍යාපාරික ධමිම්ක පෙරේරා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද කතානායකවරයා  ඉදිරියේ ධුරයේ දිවුරුම් දුන්නේ බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.