රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න විශ්‍රාම යයි

රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යයි

by Sagarika Chathumali 21-06-2022 | 8:57 PM

COLOMBO (News 1st) – නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (21) විශ්‍රාම ගියේ ය.

නාවික හමුදාව පැවසුවේ, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය ද පුද කෙරුණු බවයි. ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා සේවයට එක්ව ඇත්තේ, 1986 වර්ෂයේදී ය. රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න සිය සේවා කාලය තුළ නාවික හමුදා නෞකාවන්ගේ අණ දෙන නිලධාරී ලෙස ද කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම්, වැඩබලන අධ්‍යක්ෂක සමුද්‍රීය ආවේක්ෂණ, නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික මෙහෙයුම්, නාවික පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ ගුවන් ආරක්‍ෂක සම්බන්ධීකාරක, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, නාවික හමුදාධිපතිගේ නාවික සහයක, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපති, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙස ද සේවය කර තිබේ. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, අධ්‍යක්ෂක නාවික පුහුණු, නියෝජ්‍ය ජල ශාස්ත්‍රීය ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික පුහුණු, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික මෙහෙයුම්, නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල ශාස්ත්‍රීය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.