by Sagarika Chathumali 20-06-2022 | 8:30 PM
COLOMBO (News 1st) – ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහය ලබා දෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය ඒ බව පවසා ඇත්තේ, අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිදු කළ සාකච්ඡාවකදී ය.
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ, ඔස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ගෙනයාමට හා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බවයි.
රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියානු රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නැව් මාර්ග සංවර්ධනය කිරීම පිළිබඳ පැහැදිළි කර ඇති අමාත්‍යවරිය සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිය පරිපාලනයේ ප්‍රතිපත්තිය ද මෙහිදී පැහැදිලි කර තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ මෙරට ආරක්ෂක අංශ කැපවී සිටින බවයි.
විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරිය හමුවේ පැහැදිලි කර තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවුසවේ, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයට සිය ස්තුතිය පුද කළ බවයි.