රුසියාවට සම්බාධක පැනවීම පිස්සුවක් -ජනපති පුටින්

බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම පිස්සුවක් - ජනපති පුටින්

by Sagarika Chathumali 18-06-2022 | 12:32 PM

COLOMBO (News 1st) – යුක්‍රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් සිය රටට සම්බාධක පැනවීම පිස්සුවක් මෙන්ම තමන් කිසිසේත් සැලකිල්ලට නොගන්නා කරුණක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෙන් පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කර ඇති බවයි. සිය රටට සම්බාධක පැනවීම හරහා රටේ ආර්ථිකය පුපුරුවා හැරීමට බටහිර රටවල් දියත් කළ වැඩපිළිවෙල ආරම්භයේ සිටම සාර්ථක නොවූ බව පවසන ජනාධිපතිවරයා සිහිපත් කර ඇත්තේ, පැනවූ සම්බාධක හා සීමාවන් නිසා එකී රටවලට ම  වැඩි හානියක් සිදුවූ බවයි. බටහිර රටවල් රුසියාවට දඬුවම් කිරීම හා සිය රටවල ආර්ථිකය අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා තිබේ. කෙසේ වෙතත් පුටින් පවසා ඇත්තේ,රුසියාවට එරෙහි සම්බාධක පැනවීම හමුවේ යුරෝපා සංගමයට අමෙරිකානු ඩොලර් බිලියන 400 ක් අහිමිවිය හැකි බවයි. ජනාධිපතිවරයා පවසන්නේ, යුරෝපා සංගමයේ රටවල් 27 හි උද්ධමනය වැඩි වී ඇති බවත් එම තත්ත්වය හමුවේ යුරෝපා වැසියන්ගේ සැබෑ අවශ්‍යතා පසෙකට තල්ලුවී ඇති බවත්  ය. මේ අතර ජනාධිපති පුටින් රුසියාවේ ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේ, සිය රට තුළ අයෝජනයන් සිදු කරන ලෙසයි.
''මෙහි ආයෝජනය කරන්න.. ඔබේම නිවස තුළ එය වඩාත් ආරක්ෂිතයි.. මීට සවන් දීමට අකමැති වූ පිරිසට විදෙස් රටවලදී මිලියන ගණන් පඩුවිය හැකියි''
යුක්රේනයේ අඛණ්ඩ යුද්ධය හමුවේ නිර්මාණය වෙමින් ඇති ගෝලීය ආහාර අර්බුදය පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා සමුළුව අමතමින් අදහස් පළ කර තිබේ. රුසියාවට සිය ධාන්‍ය සහ පොහොර අපනයනය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හැකියාව ඇති බව පවසන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රටේ ධාන්‍ය අපනයනය පමණක් ටොන් මිලියන 50ක් දක්වා ඉහළ දැමිය හැකි බවයි. රුසියාව මෙන්ම යුක්‍රේනය ද ලොව ඉහළම ධාන්‍ය නිෂ්පාදකයින් අතරින් අයෙක් වුවද කළු මුහුදේ වරාය අවහිර කර තිබීම හමුවේ යුක්‍රේනයට සිය අපනයනයන් සිදු කිරීම බාධාවක් වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

පුටින් පාලනයේ නිලධාරීන් කියන දේ...

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එලෙස ධනාත්මක අදහස් පළ කළ ද පුටින් පාලනයේ නිලධාරීන් අනතුරු අඟවන්නේ, පනවා ඇති සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථිකයට දැඩි ලෙස හානියකට ලක්වෙමින් පවතින බවටයි. එරට මහ බැංකු අධිපතිනි එල්වයිරා නබියුලිනා පසුගිය 16 වනදා සමුළුවක් අමතමින් පවසා ඇත්තේ, බටහිර බලපෑම හමුවේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 15%ක් තර්ජනයට ලක්ව ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ කඩිනම් ප්‍රකෘතිමත් වීමක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර රුසියාවේ ණය ලබා දෙන විශාලතම ආයතනය වන Sberbankහි ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ, රුසියාවේ ආර්ථිකය 2021 වසරේ පැවති මට්ටමට යළි පැමිණීමට දශකයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවටයි.

ගැටුම්වල තත්ත්වය

ඊයේ(18), යුක්‍රේනයේ නැගෙනහිර සෙවරොඩොනෙට්ස්ක් නගරයේ දරුණු සටන් සිදුව තිබේ. සති ගණනාවක සිට රුසියානු හමුදාවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ, සෙවෙරොඩොනෙට්ස්ක් සහ ලයිසිචෑන්ස්ක් නගර සිය ග්‍රහණයට ගැනීමයි.