Online පන්ති නිසා විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දරුවන්ගේ Online පන්ති නිසා උදේ 8.00 සිට දවල් 1.00 දක්වා විදුලිය විසන්ධි නොකර ඉන්න PUCSL එකඟ වෙයි

by Staff writer 18-06-2022 | 5:48 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද(18) තීරණය කර තිබේ.

ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමේ අවසරය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට ලබා දී ඇත. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවේදී ගත් තීරණවලට අනුවයි. සාකච්ඡාවෙන් පසු ලබන 20 සිට 24 සතිය තුළ පාසල් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කළේ ය. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සහිත පාසල්වල සිසුන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතාවලින් බලපෑමක් නොවන්නේ නම් එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර හිමිවේ. පාසල පැවැත්වුව ද යම් සිසුන් කණ්ඩායමකට සහභාගීවීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරීමට හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය. අමාත්‍යාංශය පැවසුවේ, සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීම සඳහා උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා විදුලිය විසන්ධි නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) එකඟවී ඇති බවයි. අදාල කාලසීමාව තුළදී විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරනු ලබන සේවය ඇගයීමට ලක්කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම සතියේදී සිදුවන ක්‍රියාවලියට අනුව ලබන සෙනසුරාදා පළාත් අධ්‍යාපන නිලධාරීන් සමග පවත්වන සාකච්ඡාවේදී ගනු ලබන තීරණ මත, ලබන 27 වැනිදා යින් ආරම්භ වන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.