පොදු ප්‍රවාහනය අදත් අඩාලයි..

දුම්රිය රැසක මගින් සංඛ්‍යාව 100%කින් ඉහළට: බස් රථ රියැදුරන් හා ජනතාව අතර උණුසුම් තත්ත්වයක්

by Staff writer 17-06-2022 | 8:53 PM

COLOMBO (News 1st) - ඉන්ධන හිඟය නිසා අද (17) පෞද්ගලික බස් ධාවනය වූයේ 20%ක පමණ ප්‍රමාණයකි.

පොදු ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් තෙල් නිකුත් කරන බව පැවසුවත් එය අධිවේගී මාර්ගයේ බස් රථවලට පමණක් සීමා කිරීම නිසා අද උදෑසන අති වූයේ උණුසුම් තත්ත්වයකි. එහිදී බස් රථ රියැදුරන් හා දුර ගමන් සේවා සඳහා පැමිණි ජනතාව අතර ද උණුසුම් තත්ත්වයක් ඇති විය. පසුව එම ස්ථානයට පොලීසිය ද පැමිණි අතර පිරිස පැවසුවේ, ඉන්ධන ලැබෙන තුරු බස් නැවතුම්පොළ අවහිර කරමින් ගාල් කර තිබූ බස් රථ ඉවත් කර නොගන්නා බවයි. මේ අතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මැදිහත්ව ගැටලුව විසඳුවත් පැවති තෙරපුම හා පීඩනය මැද ඔහු ක්ලාන්තව ඇද වැටුණි. අනතුරුව අදාල පිරවුම්හලෙන් පෞද්ගලික බස් රථ සඳහා ද ඉන්ධන ලබා දෙන බවට වූ පොරොන්දුව මත පිරිස විරෝධතාව අවසන් කළහ. අද දිනයෙත් ගමනාගමන මණ්ඩලයේ බස් සේවා හා දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ දිනයේදී මෙන්ම අදත් දුම්රිය රැසක මගින් සංඛ්‍යාව 100 % කින් ඉහළ ගොස් ඇති බවයි. අදත් දුම්රිය සේවා ලබා ගැනීම සඳහා ගනේමුල්ල, කැලණිය ඇතුළු දුම්රිය ස්ථාන වෙත විශාල ජනතාවක් පැමිණ තිබුණි. දුම්රිය මගී තදබදයට පිළියමක් ලෙස අද සිට තවත් දුම්රිය ගමන් වාර දෙකක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.