ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදා හරින්න - ජනපති

ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා බෙදා හරින්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff Writer . 17-06-2022 | 4:51 PM

COLOMBO (News 1st) – දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීමට සැලසුම් සකස් කළ යුතු බවයි. පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ අද (17) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. සැපයුම්කරුවන් සමග දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි ද එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේදී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමිවන බවයි. අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එහිදී ආරක්ෂක අංශවලට නියෝග කෙරිණ. පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.